My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mrs. Prema Kathriarachchi,

United States of America

My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mr. R.M. Sudath Priyantha Bandara,

South Korea

Our Best Compliments to the "Sewasetha" Program ...!!!

Monaragala Pharmacy,

Main Street,
Monaragala

My Best Compliments to the "Deerghayu" Fund...!!!

Mr. A.M. Priyantha Kumara,

Warrior Tharanga Mawatha,
SOS Children Village Road,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. H.M. Wijerathna,

Kumarapura,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Samitha Wijayakoon,

Dehiwala,
Colombo

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Dhanushka Samarasekara,

DO Studio,
Monaragala

Our Best Compliments to the "Nena Pahana" Education Scholarship Programme ...!!!

Mr. R.M. Wishwanath Raveendra,

Siyambalanduwa Timber Mill,
Siyambalanduwa.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Regional Manager and All Branch Managers,

People's Bank,
Monaragala.

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. K.M. Dhanasiri Bandara,

20 Kade, Nakkala, Monaragala

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. R.A.D. Padmasiri,

Gayan Constructions,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

W. Sanjeewa Fernando,

R & S Engineering,
Nakkala,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

Mrs. Nayana N. Dasanayaka,

Area Engineer's Office,
Ceylon Electricity Board,
Diyathalawa.

My Best Compliments to the "Deerghayu" Fund ...!!!

Hon. Dr. Sumedha G. Jayasena

Deputy Minister Of Wild Life  
Member of Parliament - Monaragala District

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. R.M.D. Rathnayaka

Medical Superintendent
District General Hospital - Monaragala


My Best Compliments to the "Nena Pahana" Education Scholarship Programe ...!!!

Mr. R.S. Wickramage

Electrical Superintendent,

Ceylon Electricity Board,

Wellawaya.

My Best Compliments to the "Deerghayu" Fund

Hon. Padma Udaya Shantha Gunasekara

Member Of Parliment
Monaragala.

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Kotiyagala Chandananda Thero

Ven. Chief Of Uva, Binthenna and Batticolo Area

Purana Raja Maha Viharaya,
Viharamulla, Monaragala.


Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs.  Chandima Ranathunga

National Savings Bank
Kandy.

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Area Engineer and All Staff

Ceylon Electricity Board,
Monaragala.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Manager and The Staff

National Savings Bank,
Monaragala.

Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs. W.A. Karunawathi (Mrs. Siriwardhana)

Kolongolla,
Monaragala.

 

Our Best Compliments to the "Deerghayu" Fund

Old Students Association

Rajakeeya Vidyalaya,
Monaragala.

Our Best Compliments to the "Deerghayu" Fund

Hon.  Chairman & The Director Board

Co-Op Rural Bank - Monaragala

 

Our Best Compliments to the "Deerghayu" Fund

Government Service Welfare Society

Okkampitiya.

 

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

KandaUdapanguwe Sudamma Thero

Ven. Chief Of Uva Wellassa Area

Sri Dhakshinaramaya, Weliyaya,
Monaragala

 

About Foundation

බාගත කිරීම් Downloads

 

අද දින දැල්වෙන අමතර එක විදුලි පහනක් හෝ නිවා දමා, අපිත් විදුලිය සුරැකීමට දායක වෙමු. එය ඔබටත් රටටත් ඉතිරියකි.

 

Father of Hydro Power

Hon. D.J. Wimalasurendra

දශක ගණනාවක සිට දනන් තුඩ තුඩ රැඳුණු ආදරණීය ආමන්ත්‍රණයක් විය. ඒ "ජලය විදුලියට හැරවූ අරුම පුදුම මිනිසා " යන්නයි.

වැඩිදුර කියවන්න

"දීර්ඝායු" අරමුදලේ දසවන මූල්‍ය පරිත්‍යාගය ද ලබාදෙන ලදී.

වැඩිදුර කියවන්න...

"නැණ පහන" අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන යථාර්තයක් බවට පත් කිරීමට අපට හැකිවිය.

වැඩිදුර කියවන්න


උණුසුම් පුවත්

 

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday345
mod_vvisit_counterYesterday1197
mod_vvisit_counterThis week1542
mod_vvisit_counterLast week7724
mod_vvisit_counterThis month13898
mod_vvisit_counterLast month31209
mod_vvisit_counterAll days1421103


ඓතිහාසික යුදනාව

ඌව පළාතේ, මොනරාගල දිස්ත්‍රික්කය තුල පිහිටි ඓතිහාසික සිද්ධස්ථාන අතර වාස්තු විද්‍යාත්මක දායාදයක් වූ යුදනා චෙත්‍යයට හිමි වනුයේ අද්විතීය ස්ථානයකි. මොනරාගල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වත්මන් බුත්තල නගරයේ සිට කි.මී. 2ක් පමණ දුරින් පිහිටි යුදඟනා චෙත්‍යය වූකලී  ලක් දිව දක්නට ලැබෙන සුවිසල් දාගැබ් කිහිපයෙන් එකකි. දැනට ඌවේ ඇති විශාලම චෙත්‍යයද යුදඟනාවයි.

නැගෙනහිර දෙසින් මැණික් ගංඟා තීරයද, උතුරු දෙසින් පුහුල්ගල කඳු වැටියද, බටහිර දෙසින් යුදනා වැව හා කෙත් යාය ද, දකුණු දෙසින් බුත්හල හෙවත් බුත්තල නගරයද, මැදි වන සේ මෙම ඓතිහාසික යුදනාව පිහිටා ඇත.

පුරාතන ලක් දිව යුද ඉතිහාසය පිළිබඳ කරුණු ගවේශනය කිරීමේ දී මෙම යුදනාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙයි. සිංහල රාජධානි යේ අවසාවය දක්වා රණ ශිල්පීන් ජාතියට සැපයූ මධ්‍යස්ථානය වූයේ, ඌව පුරවරය බැව් ප්‍රකට කරුණකි. මෙහිදී රටේ රාජ්‍ය තන්ත්‍රයට අවශ්‍ය වන යුද්ධ ශිල්පීන් ප්‍රහුණු කිරීම සිදු වූයේ ඌව-වෙල්ලස්ස යුදනාවේය. වංශ කතාවේ සඳහන් ව ඇති පරිදි කාවන්තිස්ස රජු විසින් ස්වකීය බාල පුත්‍රයා වූ සද්ධාතිස්ස කුමරුට දීඝවාපි ජනපදයේ පාලනය පවරා දෙන ලදී. මෙහිදී ඔහුට වගකීම් දෙකක්ද පැවරිණි. උතුරේ අනුරාධපුර රාජධානියෙන් එල්ල විය හැකි ආක්‍රමණ වලක්වා තම රාජ්‍යයට ආරක්ෂාව සැලසීම එයින් පළමු වැන්නයි. දෙවැන්න වූයේ, එම ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු දියුණු කොට යුද්ධය සඳහා අවශ්‍ය ආහාර නිෂ්පාදන ක්‍රියාවෙහි නිරත වීමයි. යුද්ධය සඳහා අවශ්‍ය ආහාර නිෂ්පාදනය එලෙස සිදු වූ අතර යුද්ධ උපකරණ නිපද වීම ඌවේ යුදනාවේ සහ මලය රටේ කොත්මලේ වැනි ප්‍රදේශ වල සිදු කළ බවට සාධක ඇත. මෙසේ නිපද වූ ආයුධ වලින් සන්නද්ධව ඌව- වෙල්ලස්ස යුදනාවෙන් එක්රැස් කොට ගත් හමුදාවද කැටුව, රට සහ ජාතිය විදේශ ආධිපත්‍යයෙන් මුදවා ගැනීමේ වීරෝධාර සටන සමග දුටුගැමුණු රජු ඉදිරියට ගියේ ද යුදනාව හරහා වැටී තිබූ මාර්ගය ඔස්සේ ය.

එළාර සමඟ සිදු වූ එම සටන සඳහා ගිය සිංහල සේනාවට අවශ්‍ය දෑ සම්පාදනය කිරීම සිදු වූයේ ද යුදනාවේ ය. රෝහණ රාජ්‍යයේ අගනුවර තිස්සමහාරාමය අසල පිහිටා තිබූ මාගම් පුරයට ගෙන යාමෙන් පසුව අනුරාධපුරය හා රෝහණ රාජ්‍යය සම්බන්ධ කළ ප්‍රධාන මාර්ග 2ක් පිළිබඳ ඉියක් 13 වන සියවසට අයත් සිංහල ථූපවංසයෙන් ලැබේ. එම මාර්ග දෙකම පැවතියේ ඌව- වෙල්ලස්ස යුදනාව හරහාය. එක් මාර්ගයක් මාගම සිට කතරගම, යුදනාව, මැදගම හා මහියංගණය හරහා අනුරාධපුරයට වැටී තිබුණි. මහියංගණයේ සිට එම මාර්ගය කිනම් ගම් හෝ නගර හරහා අනුරාධපුරය දක්වා දිව ගියේ ද යන්න නො පැහැදිලිය. එහෙත් එය එතැන් සිට මහවැලි ගඟේ වම් ඉවුර ඔස්සේ ගොස් වයඹ දෙසට හැරී ඇළහැර,  දඹුල්ල හා කලා වැව හරහා අනුරාධපුරය දක්වා පැතිර යන්නට ඇතයි, අනුමාන කළ හැකිය.

අනුරාධපුරය හා රෝහණය සම්බන්ධ කළ අනෙක් මාර්ගය මාගම, යුදනාව, දීඝවාපි හා පොළොන්නරුව හරහා අනුරාධපුරය දක්වා පැතිරී තිබුණි. උතුරට ගිය පැරැණි යුද ම මේ ඔස්සේ ඌව මැදින් වැටී තිබීමත් යුදනාව හා මහියංණය යුද කදවුරු දෙකක් වශයෙන් තෝරා ගැනීමත්  නිසා ජාතිය බේරා ගැනීමේ මහ සටනේ වැදගත් ස්ථාන කිහිපයක්ම ඌවට හිමි වූ බව කිව හැකිය.

මේ අනුව විමසා බැලීමේ දී ඌවේ සිට අනුරාධපුරයට යාමට පමණක් නොව, ඌව ප්‍රදේශය තුලදී  යුද්ධ කටයුතු සංවිධානය කිරීම සඳහාද මෙම මාර්ග පද්ධතිය උපකාර වන්නට ඇත. රටත්, ජාතියත්, ශාසනයත්, රැක ගැනීමේ දී කිසියම් ආපදාවක් සිදු වූයේ නම් ඒ සෑම විටෙකදීම ඌව යුද පිටියක් වූ බව පෙනේ . ඌවට හිමි වී ඇති අභීත යුද පිටි අතුරෙන් කිහිපයක් මෙසේ ය.

1. විජය කුමරු කුවේණිය සමග හාද වී යක්ෂයන් සංහාරය කළ සිරිසවත්ථු පුරය .

2. ස්කන්ධ කුමරු යුධ වැද ජය ගත් කතරගම .

3. දුටුගැමුණු - සද්ධාතිස්ස දෙබෑයන් යුද වැදුණු යුදනාව

4. දුටුගැමුණු කුමරු මුලින් දෙමළ සංහාරය කළ ගුත්තාහල හෙවත් බුත්තල.

5. 1817 වර්ෂයේ දී උඩරට මහ කැරැල්ල ඇති වූ වෙල්ලස්ස.

ඌව-වෙල්ලස්ස පදනම් කර ලත් මෙකී සටන් ව්‍යාපාරය විජයග්‍රහණය කළා මිසක, කිසි දිනෙක පරාජිත නොවූ බව ඌවේ සටන් ඉතිහාසයෙන් පැහැදිලි වෙයි.

රුහුණ හා රජරට සම්බන්ධ කළ පූර්වෝක්ථ පැරණි මාර්ගයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වූ ගුත්තාහල හෙවත් බුත්තල ඓතිහාසික වශයෙන් වැදගත් වෙයි. ගුත්තාහල මණ්ඩලය වශයෙන් ද මෙම ස්ථානය හඳුන්වා ඇත. අනුරාධපුර සටනට යාම සඳහා මාගම රැස් වූ දුටු ගැමුණු රජුගේ බල සේනාව  මාගම පටන් ගුත්තාහල නම් වූ ස්ථානයක් දක්වා පැතිර සිටි බව මහා වංශයේ සඳහන් ව ඇත. අනුරාධුරය බලා ගිය එම දුටුගැමුණු  යුද සේනාව බුත්තල යුදනාවේ දී මදක් නැවතී ගමන් ඇරඹූ බවද එහි කියවේ.

උතුරට ගිය එම යුද මාර්ගයේ වැදගත් නැවතුම් පලක් වූ මෙහි (බුත්තල) ඒ සදහා සහය වූ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට නිරතුරුවම ක්‍රියාත්මක පැවති ආහාර දන් දුන් බත් හලක් පැවතියේ ය. එය බුත්තල යුදනාව ආශ්‍රිත භූමි ප්‍රදේශයේ පිහිටා තිබුණි. එම නිසා,

බත්හල >බුත්හල > බුත්තල

යනුවෙන් ව්‍යවහාරයට එක් වූ බව ජනප්‍රවාදයේ එයි. තවද යුදනාව ආශ්‍රිතව කඩින් කඩ ගැටුම්කාරී තත්ත්වයන් පැවතිණ. එම නිසා පුරාතනයේ සිටම මෙය,

ගුෂ්ඨිහල >ගුත්හල > බුත්තල

නමින් හැදින් වූ බවද ජනප්‍රවාදයේ එයි. බුත්තල නාම සම්භවය කෙරෙහි මුල් වූ මෙම ජනප්‍රවාදයන් දෙකම එක සේ වැදගත් වන බවත්, එක සේ පිළිගත හැකි වන බවත් පෙනේ.

බුත්තල යුදනාව අයත් වන්නේ ඌව-වෙල්ලස්සට ය. දුටුගැමුණු රජු ද්‍රවිඩ සංහාරය සිදු කළේ සද්ධාතිස්ස කුමරු විසින් ඌව - වෙල්ලස්සේ ගොඩ නගන ලද ආර්ථික පදනම මතය. පෙර මෙහි ලක්ෂ ගණන් වෙල් යායවල් පැවති හෙයින් වෙල්ලස්ස වී යැයි ජනප්‍රවාදයේ එයි. දැනට වල් බිහි වී තිබෙන අති විශාල වෙල් යායවල් දකින කවරෙකුට වුව ද එම ජනප්‍රවාදයේ සත්‍යතාව වටහා ගැනීම අපහසු නොවයි. මෙම ප්‍රදේශය ඌවේ ඉතා සරු සාරම ප්‍රදේශයයි. පෙර මෙන්ම දැනටත් මෙහි මඩ ගොවි තැන බහුල වශයෙන් පවත්නා බැව් පෙනේ.

ඌව වෙල්ලස්සේ බුත්තල චූලංගනී පිටියේ දී දුටුගැමුණු - සද්ධාතිස්ස දෙසොහොයුරන් අතර යුද්ධයක් සිදු වූ බව (ක්‍රි.පූ. 2 වන ශත වර්ෂය) ප්‍රකට ඉතිහාස ප්‍රවෘත්තියකි. දුටුගැමුණු රජු සිය සොහොයුරා සමග යුද වැදීමෙන් සිදු වූ සිත් තැවුල මැකීමටත්, එම සටන සදා සිහි වීම පිණිසත් චූලංගනී පිටිය අසල සටන සිදු වූ අංනයේ සුවිසල් දාගැබක් ඉදි කෙරිණි. එය යුදනා දාගැබ බව ඓතිහාසික සාධක අනුව පිළිගත හැකිය.

දුටුගැමුණු - සද්ධාතිස්ස දෙසොහොයුරන් අතර අනුක්‍රමයෙන් සිදු වූ භේද භින්නතාව මෙසේ යුද කිරීම දක්වාම වර්ධනය විය. ඒ සඳහා මුල් වූ හේතු සාධක කිහිපයක්ම පැවතිණි.

1.         කාවන්තිස්ස මහ රජුගේ අභාවයෙන් පසු සද්ධාතිස්ස කුමරු රාජ්‍යය පැහැර ගැනීම සදහා උපක්‍රමශීලීව කටයුතු කිරීම

2.         ස්වකීය මෑණියන් වූ විහාර මහා දේවිය හා කඩොල් ඇතා ද කැටිව සද්ධාතිස්ස කුමරු දිගාමඬුල්ලට පලා යාම.

3.         ස්වකීය මව හා කඩොල් ඇතා වහාම මාගමට එවන ලෙස දන්වා දුටුගැමුණු කුමරු  සොහොයුරා වෙත හසුන් පත් කිහිපයක්ම යැවුවද ඔහු එම අණ නොපිළි ගැනීම.

කාවන්තිස්ස මහ රජු 64 වන වියේ දී අභාවයට පත් වූයේය. විහාර මහා දේවිය ආවරණය කළ යානයකට නැගී තිස්සමහාරාමයට ගොස්  මහ රජුගේ අභාවය මහා සංඝයා වහන්සේට සැළ කර සිටියාය. ස්වකීය පිය මහ රජුගේ අභාවය පිළිබඳ පුවත ඇසූ සද්ධාතිස්ස කුමරු ද වහාම තිස්සමහාරාමයට පැමිණියේය. ඒ වන විට ඔහු වාසය කලේ දීඝවාපී ජනපදයේ ය. දුටුගැමුණු කුමරු වාසය කෙළේ කොත්මලේ ප්‍රදේශයේය. කාවන්තිස්ස මහ රජුගේ අභාවයෙන් පසු රාජ්‍යත්වයේ නියම උරුම කරුවා වූයේ ගැමුණු කුමරුය. කෙසේ වෙතත් පිය මහ රජුගේ අභාවය සැළ වූ වහාම සද්ධා තිස්ස කුමරු, ගැමුණු කුමරුට ප්‍රථම මාගමට පැමිණියේ ය. පිය මහ රජුගේ අවමංගලෝත්සවයේ සියළු කටයුතු විධිමත්ව සංවිධානය කළ තිස්ස කුමරු රාජ්‍ය ගෞරව සහිතව මෘත දේහය ආදාහනය කොට සොහොන් කොතක් ද කර වූයේය. ආදාහන කටයුතු නිම වීමෙන් පසුව ඔහු පිය මහ රජුගේ ඇවෑමෙන් හිස් වූ සිහසුන පැහැර ගැනීමේ අරමුණින් යුතුව, වක්‍රව ක්‍රියා කළ බව ඉතිහාස මූලාශ්‍රයන්හි සදහන්ය. සද්ධාතිස්සගේ මෙම ක්‍රියා කලාපය නිසා දුටුගැමුණු ඔහු කෙරෙහි වෛරයෙන් පසු වන්නට ඇත. මාගම් පුරයෙහි ඇමතියන් ද, වැසියන් ද, ගැමුණු කුමරුට අවනත වූ බැවින් රාජ්‍ය ලෝභයෙන් සිටි තිස්ස කුමරු ස්වකීය මව් බිසව වන විහාරමහා දේවිය හා කඩොල් ඇතාද සමඟ පෙරළා තම පාලන ප්‍රදේශය වූ දිගාමඬුල්ලට ගියේය. තිස්ස කුමරු එලෙස මාගමින් ආපසු පිටත්ව ගියේ ස්වකීය සොහොයුරු දුටුගැමුණු කෙරෙහි පවත්නා බිය නිසාවෙනි. විහාරමහා දේවිය ද සමග යාම වූ කලී, රට වැසියන් තමා කෙරෙහි අවනත කර ගැනීම සඳහා තිස්ස කුමරු යෙදූ උපාය මාර්ගයකි. ඒ විහාරමහා දේවිය රුහුණු රට වාසීන්ගේ ඉමහත් ගෞරවයටත්, ආදරයටත්, පත්ව සිටි හෙයිනි.

කාවන්තිස්ස මහ රජුගේ ඇවෑමෙන් දුටුගැමුණු කුමරු රුහුණේ රජ ලෙස පෙනී සිටියේය. ස්වකීය සොහොයුරු වූ ගැමුණු කුමරු කවර අවස්ථාවකදී හෝ තමා හා සටනට පැමිණෙන බව තිස්ස කුමරු වටහා ගෙන සිටියේය. එබැවින් තිස්ස කුමරු දිගාමඬුල්ලේම නතරව සිටියේය.

රුහුණේ රජ වූ දුටුගැමුණු කුමරු පළමුව සිදු කෙළේ ස්වකීය මව් බිසව හා කඩොලැතු වහාම මාගමට එවන ලෙස දන්වා සොහොයුරු තිස්ස කුමරුට හසුන් පත් යැවීමයි. තෙවරක්ම හසුන් පත් යැවූ නමුත් තිස්ස කුමරුගෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි. එබැවින් දෙසොහොයුරන් අතර භේද ඇති වී සටනකටද පෙළඹුණි. සෙහොයුරු තිස්ස හා සටන් කිරීමෙන් සිංහල ජනතාව විනාශ විය හැකි බැවින් ගැමුණු කුමරු වෑයම් කෙළේ විහාරමහා දේවියද ගෙන්වාගෙන තිස්ස කුමරු උපායෙන් තම පක්ෂයට බඳවා ගැනීමටයි. එහෙත් එම වෑයම සාර්ථක නොවීය. ගැමුණු කුමරු විශාල නොවූ සෙනඟක් ගෙන සොහොයුරු හා යුද පිණිස දිගාමඬුල්ල බලා නික්මුණේය. දුටුගැමුණු සේනාව දිගාමඬුල්ල බලා පිටත් වූ බව ඇසූ තිස්ස කුමරු තමා කලින් රැස් කර ගත් බළ සේනාව ද සහිතව චූලංගනී පිටියට පැමිණ එහි කඳවුරු බැඳගෙන සිටියේය. තම සොහොයුරා කල් ඇතිව යුද්ධය පිණිස සැරසුණු බව දුටුගැමුණු කුමරු නොදත්තේ ය. එබැවින් ගැමුණු කුමරුට අනපේක්ෂිත දරුණු සටනකට මුහුණ දෙන්නට සිදු විය. චූලංගනී පිටිය (සුලඟනා සෑය) අසලදී ඇති වූ මෙම පළමු සටනේ දී දුටුගැමුණු රජු පැරදී පලා ගියේය. දුටුගැමුණු රජු හා සිය සෙහොයුරු සද්ධාතිස්ස අතර චූලංගනී පිට්ඨි නැමති ස්ථානයේ දී යුද්ධයක් සිදු වූ මෙම පුවත මහා වංශයේ සදහන්ව ඇත්තේ මෙසේ ය.

අහූ ද්වින්නං මහා යුද්ධං

චූලංගණිය පිට්ඨියං

තත්ථ නෙකසහස්සානි

පතිසුං රාජිනෝ නරා

දුටුගැමුණු රජු ස්වකීය සොහොයුරා ගේ අදහස් ද, සංග්‍රාම ශක්තියද, තේරුම් නොගෙන යුදනා සටන් පිටියට පැමිණි බැවින් අතලොස්සක් පමණ වූ බල පිරිසක් ඇතිව ඊට දස ගුණයකින් වැඩි වූ බල සෙනඟක් සමග සටන් කෙළේය. එහෙත් විශාල බල සෙනඟක් පිරිවරා සිටි තිස්ස කුමරු හා සටන් කොට ජය ගැනීම අසීරු බව සංග්‍රාම ශූර දුටුගැමුණු කුමරු වටහා ගත්තේ ය. එබැවින් සිය යුද සේනාවට අනුක්‍රමයෙන් මාගම් පුරවරය බලා පසු බැසීමට නියම කෙළේය. ඉක්බිතිව යුද්ධයේ දී පැරදී පසු බසිමින් සිටි දුටුගැමුණු රජු පසුපස තිස්ස කුමරු ලුහු බඳින්නට පටන් ගත්තේය. යුද සේනාවද මෙහෙය වමින් ගමන් ගත් තිස්ස කුමරු යන මග අහුරමින් අදෘෂ්‍යමාන බලවේගයකින් මෙන් මහා කන්දක් හමු වුණි. (දැනට රහතන් කන්ද නමින් ව්‍යවහාර වන මෙම කන්ද යුදනා දාගැබට නුදුරින් පිහිටා ඇත) පසුව සිය සොහොයුරා ලුහු බැඳීම නතර කළ තිස්ස කුමරු ආපසු දිගාමඬුල්ල බලා ගමන් ආරම්භ කෙළේ ය. දුටුගැමුණු රජු ද කප්කඳුරු ඔය තෙර කඳවුරු බැඳගෙන රැය පහන් කොට පසුදා ස්වකීය සේනාවද සමඟ මාගම් පුරය බලා ගමන් ගත්තේය.

මාගම් පුරයේ සිටි දුටුගැමුණු රජු තම සොහොයුරා හා දෙවන වර මහ සටනක් සිදු කිරීමට සේනාව රැස් කිරීමෙහි නියුක්තව සිටියේ ය. පෙර කාවන් තිස්ස මහ රජු පොරොන්දු කරවා ගෙන සිටි පරිදි දශ මහා යෝධයන් අතුරෙන් කිසිවෙකුත් දෙසොහොයුරන් අතර සිදු වන සටනක දී එක් පක්ෂයක් වත් නොගත් බැවින් යුද්ධ සෙනවියන් සොයා ගැන්ම ගැමුණු කුමරුට තරමක අපහසු කාර්යයක් විය. කෙසේ වුවද අවසානයේ දී සැට දහසක පමණ සේනාවක් යුද්ධය සදහා පුරුදු පුහුණු කරවා ගැනීමට ගැමුණු කුමරු සමත් විය.

මෙසේ සිය සොහොයුරා හා දෙවන වරට ද යුද්ධ කිරීම සඳහා සූදානම් වීම හුදෙක් දුටුගැමුණු රජුගේ රාජ්‍ය ලෝභය මත පදනම් වූවක් නොවේ. සොහොයුරා හා සටන් කොට විශාල පිරිසක් නසා ජයග්‍රහනය තමා සන්තක කර ගැනීමට දුටුගැමුණු රජු කිසිසේත්ම අපේක්ෂා නොකෙළේ ය. දුටු ගැමුණු රජුගේ ප්‍රධාන ඉලක්කය වූයේ දෙමළුන් හා සටන් කොට ඔවුන්ගේ බලය බිඳ ලක් දිව එක්සේසත් කර බුදු සසුන බැබළවීමයි. එම උදාර කාර්ය ආරම්භ කිරීමට නම් රට අභ්‍යන්තරික වියවුල් වලින් තොරව තබා ගත යුතුය. එබැවින් රටේ සිංහල සේනාව ආරක්ෂා කරගෙන තිස්ස කුමරු ද තම පක්ෂයට බඳවා ගෙන අනතුරුව දෙමළ සටන ආරම්භ කොට ස්වකීය අදහස් මුදුන් පමුණුවා ගැනීම දුටුගැමුණු රජුගේ එකම අපේක්ෂාව විය. එබැවින් සිය සොහොයුරාට හසුන් පත් යැවූ දුටුගැමුණු රජු සේනාව නොනසා සටන නවතා දමා තමා කරා පැමිණිය හොත් සමාව ලබා දෙන බව සදහන් කෙළේය. එහෙත් තිස්ස කුමරු එය සරදමක් කොට සිතීය.

දුටුගැමුණු රජු සොහොයුරා සමඟ යුද්ධයකට සූදානම් වෙමින් සිටියද, රටේ ඇමතියන් හා ජනතාව සමඟ කරන සාකච්ඡාවන්ද, භික්ෂූන් වහන්සේ විෂයෙහි දක්වන ගරු සැලකිලි ද, මදකුදු අතපසු නොකළේය.

දෙවන වරටත් යුදනාවේදී දෙසෙනෙඟ මුණ ගැසීමෙන් මහ සටන සිදු විය. දීඝතූනිකා නම් වෙළඹ පිට නැගගත්  දුටුගැමුණු රජු ද, කඩොල් ඇතා පිට නැගගත් තිස්ස කුමරු ද, යුදනා පිටියේ දී මුහුණට මුහුණ ලා සිටගෙන සටන ආරම්භ කළහ. දුටුගැමුණු රජුගේ එක් සේනාවක් මෙහෙය වන ලද්දේ රණ ශූර අතුල විසිනි. අතුල දුටු ගැමුණු රජුගේ සංවිධානය අනුව සේනාව මෙහෙයවමින් තිස්ස කුමරුගේ සේනාව පසු බසින මං මාවත් ගැනීමට තැත් කෙළේය. දුටුගැමුණු රජුගේ යුධ සේනාව තම සේනාව අභිබවා ඉදිරියට පැමිණෙන බව දුටු තිස්ස කුමරු වහාම සටන් කරමින් පසු බසින ලෙස සිය සේනාවට අණ කෙළේය. ඉක්බිතිව එසේ පසු බසින්නට වූ තිස්ස කුමරුගේ සේනාව හා දුටුගැමුණු රජුගේ සේනාව අතර සිදු වූ සටන ඉතා දරුණු මුහුණු වරක් ගත්තේය. තිස්ස කුමරු සතුව සිටි කඩොල් ඇතා මෙල්ල කිරීම එතරම් පහසු කාර්යයක් නොවන බව දුටු, දුටු ගැමුණු රජු වටහා ගත්තේය. එබැවින් දුටුගැමුණු රජු දීඝතූනිකා, නම් වූ තම වෙළඹ කඩොල් ඇතාගේ පිට මත්තෙන් පැන්නවීය. තමාගේ පිටට උඩින් වෙළඹකට පනින්නට සැලස්වීම පිළිබඳ උරණ වූ කඩොල් ඇතු පිට සොළවමින් තිස්ස කුමරු බිම දැමීමට උත්සාහ කෙළේය. වහාම බිමට බැස ගත් තිස්ස කුමරු එතැන නොසිට පලා යන්නට පටන් ගත්තේය. කඩොල් ඇතා තමාගේ නියම හිමි කරු වූ දුටුගැමුණු රජු වෙත වහාම දිව ගියේය. ඉක්බිතිව කඩොල් ඇතු පිට නැගගත් දුටුගැමුණු රජු තිස්ස කුමරු ලුහු බඳින්නට පටන් ගත්තේ ය. ඒ සමගම තිස්ස කුමරුගේ සේනාව කඩ කඩව ගොස් හිස් ලූ ලූ අත දිව ගියහ. දුටුගැමුණු සේනාවද ඔවුන් පසු පස ලුහු බැඳ ගොස් බොහෝ දෙනෙකුට හිරි හැර කළහ. එහෙත් සොහොයුරාගේ සිංහල සේනාව විනාශ කළහොත් ඉදිරියේ දී සිදු කෙරෙන දෙමළ මහා සංග්‍රාමයට එය බාධාවක් වන බව දත් දුටුගැමුණු රජු වහාම සටන නැවත්වීමට සිය සෙනෙවියාට අණ කෙළේය.

යුද්ධයෙන් බේරීමට නොහැකිව පැන ගිය සද්ධාතිස්ස කුමරු යුදනා පිටිය සමීපව පිහිටි දෙමටමල් විහාරයට ගොස් එහි මහ තෙරුන් වහන්සේ හමු විය. ඇතිවූ තත්ත්වය පිළිබඳ විස්තර කර තමාව බේරා ගන්නා ලෙස මහ තෙරුන් වහන්සේගෙන් ඇයද සිටියේය. මහ තෙරුණ් වහන්සේ ද වහා තිස්ස කුමරුව තමාගේ ඇඳ යටට යවා ඔහු නොපෙනෙන ආකාරයට ඇඳ ඇතිරිලි ඇද වසා දැමූහ. දුටුගැමුණු රජුද සද්ධාතිස්ස කුමරු ලුහු බැඳ ගිය සේනාව පසුපසින් ගමන් ගත්තේ ය. තිස්ස පලා ගියහොත් නැවතත් ඔහු රට වැසියන් සමග තමා හා සටනට පැමිණෙන බවත්, එසේ වුව හොත් එය දෙමළ සටනට බාධාවක් වන බවත්, පැහැදිලිවම දත් දුටුගැමුණු රජු තිස්ස නෙමරා අලවා ගත යුතු බව සිය සේනාවට දැනුම් දුන්නේය. ඒ අනුව යුද සේනාවේ සෑම කෙනෙකුටම උරෙන් උර ගැසී දෙමටමල් විහාරය හාත්පස රැකවල් ගෙන සිටිය යුතු බව නියම කෙළේය. මෙසේ දෙමටමල් විහාර භූමිය වට කොට සේනාව රඳවා, සංඝාවාසය තුලට ගිය දුටුගැමුණු රජු එහි වැඩ සිටි මහතෙරුන් වහන්සේ පස පිහිටුවා වැද ,

ස්වාමීනි, තිස්ස කොහි සිටින්නේ දැ යි විචාළේය.

මහ රජතුමනි, තිස්ස ඇඳ නැත යනුවෙන් මහ තෙරුන් වහන්සේ පිළිතුරු දුන්හ.

තිස්ස කුමරු ඇඳ මත නොමැතිනම් ඇද යට ඇතැයි රජු වටහා ගත්තේය. රජු දෙවන වර මහ තෙරුන් වහන්සේ වැඳීමට පාත් වූ විට ඇඳ යට සැගවී සිටි තිස්ස කුමරු ගේ මාපට ඇඟිලි කෙළවර ඇතිරිල්ලට යටින් දුටුවේය. එබැවින් දෙමටමල් විහාරය වටා රැකවල් තව තවත් තර කොට තමාද දොරටුව අසල සිට ගත්තේ ය.

මද වේලාවකට පසුව සාමණේරයන් වහන්සේලා සතර නමක් අපවත් වූ තෙරනමක් ගෙන යන්නාක් සේ ඇඳක් ද ඔසවාගෙන දොරටුව අසලට පැමිණියහ. ඇඳ මත වූ දේහය සිවුරකින් වසා තිබිණි. එසේ ඇඳ මත ගෙන යන්නේ තිස්ස බව දුටුගැමුණු රජු වටහා ගන්නා බවත්, එහෙත් එවේලෙහි සාමණේරවරුන්ට එරෙහිව රජු නැගී නොසිටින බවත්, දෙමටමල් විහාරයේ භික්ෂූහු දැන සිටියහ. සොහොයුරා හා තවත් සටන් නොකරන ලෙස තිස්ස කුමරු පොරොන්දු කරවා විහාරයෙන් පිටත් කොට හැරීමත්, දුටුගැමුණු රජුගේ කෝපය සංසිඳුණු පසු දවසක දෙබෑයන් එක් කොට සමගි කරවීමත්, දෙමටමල් විහාරවාසී භික්ෂූන්ගේ අභිප්‍රාය විය.

දැඩිසේ බියට පත්ව සාමණේරවරුන් ගේ කර පිටින් යන තම සොහොයුරා මතු කිසිදිනෙක සේනාවද රැගෙන තමා හා සටනට නො එන බවත්, එවැනි අදහසක් ඇත්නම් මෙතරම් බැගෑපත්ව පලා නොයන බවත්, දුටුගැමුණු රජු වටහා ගත්තේය. පසුව සාමණේරවරුන්ගේ කර පිටින් යන තම සොහොයුරාට ඇසෙන සේ මෙසේ ද සරදම් කෙළේය.

එම්බල තිස්සය, කුල දේවතාවුන් ගේ කර පිටින් යෙද් ද? උන් වහන්සේලා අතින් මම නුඹව පැහැර නොගන්නෙමි. එසේ පැහැර ගැන්ම බුදු සස්නෙහි පහන් වූ තුනුරුවන් අදහන අප වැන්නවුන්ට සුදුසු නොවේ. කුල දේවතාවුන් නුඹට කළ උපකාරය දිනපතාම සිහි කරව

දුටු ගැමුණු රජු එදින යුදනා පිටියහිම කඳවුරු බැඳගෙන සිට පසුදාම විහාරමහා දේවියද සමඟ පෙරළා මාගමට ගියේ ය.

දෙසොහොයුරන් සමගි වීම

ඉකිබිතිව ගෝධත්ත තෙරුන් වහන්සේ මුණ ගැසුණු තිස්ස කුමරු තමා මෙතෙක් සිදු කෙළේ වරද බව පවසා සොහොයුරා ගෙන් සමාව ලබා දෙන ලෙසට ඉල්ලා සිටියේ ය. තෙරුන් වහන්සේද තිස්ස කුමරු විහාරයෙහි වතාවත් කරන්නෙකු මෙන් සූදානම් කරවාගෙන භික්ෂූන් සමග රජ මාලිගයට වැඩම කළහ. වෙස්වලාගත් තිස්ස කුමරු එළිපත්තෙහි නවතා භික්ෂූහු මාලිගයේ උඩු මහලට වැඩම කළහ. දුටු ගැමුණු රජු හා විහාරමහා දේවිය භික්ෂූන් වහන්සේ පිළිගෙන අසුන් පනවා කළමනා සත්කාර කළෝය. ඉක්බිතිව සඟ පිරිසේ ප්‍රධානත්වය ඉසිලූ ගෝධත්ත තෙරුන් වහන්සේට පළමු කොට ම දන් බෙදීම සඳහා රජු සූදානම් විය. තෙරුන් වහන්සේ පාත්‍ර පතින් පාත්‍ර මුව විට වැසූහ. විෂ්මයට පත් දුටු ගැමුණු රජු ,

ස්වාමීනි, පාත්‍රය වැසීමට හේතුව කුමක් දැ යි , ඉතා යටහත්ව විමසීය.

මහ රජතුමනි, අපි ඔබගේ සොහොයුරු තිස්ස කුමරු කැඳවාගෙන ආවෙමු යි තෙරුන් වහන්සේ පැවසූහ.

නුඹ වහන්සේ කැඳවාගෙන ආ ඒ සොරා කොහි දැ යි විමසූ රජු උඩු මහල් තලයෙහි අනෙක් කෙළවර දෙස බැලීය.

අපි තිස්ස කුමරු රජ මැදුරේ එළිපත්තේ නතර කොට ආවෙමු යි, පැවසූ තෙරුන් වහන්සේ එළිපත්ත දෙසට අත දිගු කළහ. මෙය අසා විහාර මහා දේවිය වහා එතැනට ගමන් කොට තිස්ස කුමරු ආවරණය කර ගත්තාය.

ස්වාමීනි, තිස්සව සාමණේර නමක් සමග එව්වද මම භාර ගනිමි. ඔහු කෙරෙහි දැන් මගේ සිතේ කෝපයක් නොමැත යනුවෙන් කියූ දුටුගැමුණු රජු මවද සමග උඩු මහලට පැමිණි තිස්ස කුමරු සමග එක් වී දන් පිළිගැන්වීමෙහි යෙදුණාහ.

අනතුරුව දෙබෑයන්ට අවවාද කළ ගෝධත්ත තෙරුන් වහන්සේ රජ මැදුරෙන් නික්මෙන්නට සූදානම් වූහ. එහිදී ඉදිරියට පැමිණි දුටුගැමුණු රජු ගෝධත්ත තෙරුන්ට මෙසේ සැලකර සිටියේ ය.

ස්වාමීනි, මේ කළ අවවාදය මින් පෙර වදාළ සේක් නම් යුද්ධය මෙතරම් බිහිසුණු වන්නේ නැත. දෙමළ උවදුර දුරු කොට ලක්දිව එක්සේසත් කර බුදු සසුන බැබළවීමේ මාගේ ව්‍යායාමයට මෙතෙක් මෙම යුද්ධය බරපතල බාධකයක් විය. එබැවින් කුල දේවතාවුන් වහන්සේලා ගේ වරද මිස අපගේ වරදක් නැත්තේ ය මෙසේ දෙබෑයන් සමගි වීමෙන් පසුව සද්ධාතිස්ස කුමරු දිගාමඬුල්ලට යැවූ දුටුගැමුණු රජු එහි පාලනයත්, කෘෂි කර්මාන්තය දියුණු කිරීමත්, ඔහුට භාර කෙළේ ය.

දුටුගැමුණු රජු මාගම තම රාජධානිය පිහිටුවා ගනිමින් විදේශික සතුරන් පලවා හැර ලක් දිව එක් සේසත් කිරීම පිළිබඳව තමා ළමා කාලයේ පටන්ම පැවති අපේක්ෂාව ඉටු කර ගැනීම සදහා අවශ්‍ය කටයුතු සංවිධානය කිරීමෙහි නිරත විය.

යුදනාව රත්නාවලී චෛත්‍යය ද?

දුටුගැමුණු හා සද්ධාතිස්ස යන දෙසොහොයුරන් අතර පූර්වෝක්ත සංග්‍රාමය සිදු වූ චූලංගනී පිට්ඨි හෙවත් යුදනා පිටිය බුත්තලට නුදුරු යුදනාවම බව ඓතිහාසික සාධක අනුව තහවුරු වී තිබේ. ඒ අනුව චූලංගනී සෑය අසල සටන සිදුවූ අංනයේ ඉදි වූ සුවිසල් දාගැබ යුදනා දාගැබ බව ස්ථිරවම කිව හැකිය. දුටුගැමුණු රජු සිය සොහොයුරා සමග යුද වැදීමෙන් සිදු වූ පාප කර්මය මැකීමටත්, එම සටන සදා සිහි වීම පිණිසත්, මෙම යුදනා දාගැබ ඉදි කොට තිබේ.

දුටුගැමුණු රජුගේ යුද්ධ හමුදාව ඉදිරියට ගමන් කිරීමේ දී පසු කිරීමට සිදු වූ ස්ථානයක් ලෙස සඳහන් ගිරිගම එම රජු ස්වකීය සොහොයුරා සමග සටන් වැදුණු ස්ථානය වන යුදනා පෙදෙස ලෙස සැලකිය හැකි බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි. තවද පැරකුම්බා රජු (ක්‍රි.ව. 1153-1186) විසින් සිය මෑණියන් වූ රත්නාවලී දේවිය ආදාහනය කළ රුහුණු රට ඛීරාගම නොහොත් කිරිගම එකසිය විසි රියනක් උස වූ රත්නාවලී ස්තූපය කරවන ලද බව මහා වංශයෙහි සදහන් වෙයි. යුදනා චෛත්‍යය යනු මහා වංශයේ සඳහන් වන එම රත්නාවලී චෛත්‍ය බව ද මහාචාර්ය පරණවිතාන මහතා අදහස් කොට ඇත. බුත්තලට උතුරු දෙසින් පිහිටි එකම විශාල ස්තූපය යුදනාව වන බැවින් එම අදහස ඉදිරිපත් වන්නට ඇතැ යි, සිතිය හැකිය. එහෙත් ස්තූපයක නටබුන් තිබූ පමණින් එසේ සඳහන් කිරීම හේතු යුක්ති සහිත නොවෙයි. වැල්ලවායේ කන්දේ විහාරය ලොණගිරි විහාරය නාමයෙන් චිරප්‍රසිද්ධ ය. ඒ සමීපයෙහි වූ ගම දැනට ද කිරිගම නමින් ව්‍යවහාර වෙයි. මෙහි වැලි ආර නම් ස්ථානයෙහි වැලිගම් වෙහෙර නම් පැරැණි චෛත්‍යයක් ද තිබේ. එහෙයින් කිරිගම යනු යුදනාව නොව  වැල්ලවාය සමීපයෙහි වූ ඛීරගාමයම,  කිරිගම විය යුතුය.

තවද මෙහිදී සද්ධාතිස්ස - දුටුගැමුණු යුද්ධය ගැන මූලාශ්‍රවල සඳහන් වන තොරතුරුත්, ජනප්‍රවාදය අනුව සෑදුණු යුදනාව යන නාමයත්, ඉවත දැමිය නොහැකිය. චුල්ලංගන (සුළඟණා) ඇසුරෙන් බිහිවූ යුජ්ඣංගන යන පාලි වචනය ,

යුද්ධංගන >යුද> යුදනාව

යනුවෙන් සිංහලට බිඳී ආ බව පෙනේ. සද්ධාතිස්ස - දුටුගැමුණු යුද්ධයේ දී යුද සේනාවද මෙහෙයවමින් ගමන් ගත් තිස්ස කුමරු යන මග අහුරමින් අදෘෂ්‍යමාන බලවේගයකින් මෙන් මහා කන්දක් හමු වූ බව මෙහි මතු කියවුණි.  මෙම කන්ද යුදනා දාගැබට නුදුරින් අදත් දක්නට ඇත.ඒ අනුවද සද්ධාතිස්ස-දුටුගැමුණු දෙබෑයන් අතර වූ යුද්ධය සිහි වීම පිණිස මෙම යුදනා චෛත්‍යය ඉදිකරවූ බව තහවුරු වෙයි. අනුරාධපුර රජ කළ දුටුගැමුණු රජු රෝගී වීමෙන් පසුව සද්ධාතිස්ස යුව රජ හදිසියේම අනුරාධපුරයට කැඳවීය.  යුදනා චෛත්‍යෙය් වැඩ කටයුතු නිම කිරීමට නොහැකි වූයේ එම හේතුව නිසාය.

යුදනාව කොට වෙහෙරක් ද?

ඓතිහාසික යුදනා චෛත්‍යය සම්පූර්ණ නොකළ, නැතහොත් කොට වෙහෙර වශයෙන් හඳුන්වන වෙහෙර විශේෂයට අයත් වන බව මෙතෙක් තහවුරුව පැවති මතය යි. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එච්. විජයපාල මහතා ද එම මතය සනාථ කරයි.

කොට වෙහෙරක විශේෂ ලක්ෂණය වන්නේ පේසා වළලු වලට ඉහලින් දාගැබ බැඳීම නවතා සමතලා කොට දාගැබ මුදුනේ මැදින් කුඩා ථූපයක් ගොඩනගා තිබීම යි. මෙය චෛත්‍ය නිර්මාණ සම්ප්‍රදායක් ද නැතහොත් යම් හේතුවක් නිසා වැඩ අවසන් කොට ගත නොහැකි වීමේ හේතුවෙන් මෙසේ නිම කළාද යන්න කීම අවිනිශ්චිතය. එලෙස වැඩ අවසන් කොට ඇති මෙම ගණයේ කොට වෙහෙර සතරක් ලංකාවේ දක්නට තිබේ. එනම්,

1. දැදිගම සූතිඝර චෛත්‍යය

2. රඹුක්කන අසල දැලිවල කොට වෙහෙර

3. පොළොන්නරුව දෙමළ මහා සෑය

4. ලාහුගල කොට වෙහෙර

මේවායෙහි සුළු සුළු වශයෙන් වෙනස්කම් ද දක්නට තිබේ. මෙම චෛත්‍ය විශේෂය නම් සය ආකාර වූ දාගැබ් අතුරෙන් පද්මාකාර හෙවත් විකසිත නෙළුම් මලක හැඩය අනුව සාදන දාගැබ් විශේෂයයි. පද්මාකාරය සම්පූර්ණයෙන්ම ගඩොලින් හා මැටි හුණු බදාමෙන් සෑදීමට නොහැකි නිසා අර්ධ අණ්ඩය සමතලා කර එය මුදුනේ කුඩා දාගැබක් කරවන සිරිත ඇති වූ බව සිතිය හැකිය. එම කුඩා දාගැබ නෙළුම් මලේ කර්ණිකාව ලෙස ගත හැකිය.

තවද පද්මාකාර හැඩයෙන් යුත් ස්තූප ලංකාවේ දක්නට නොලැබෙන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි. එහෙත් පරණවිතාන මහතා ලංකාවේ ස්තූපය නැමති ග්‍රන්ථය රචනා කිරීමෙන් පසුව සී.ඊ. ගොඩකුඹුර මහතා දැදිගම කොට වෙහෙරෙහි ධාතු ගර්භයක ගඩොලින් තනා තිබුණ පද්මාකාර හැඩයෙන් යුත් ස්තූපයක් සොයා ගෙන තිබේ. මිහින්තලේ ඉඳිකටු සෑය වැනි දිගටි ගර්භ වලින් යුත් ස්තූපයන් ගේ පාදමෙහි නෙලුම් පෙති බොරදමක් (Moulding) යොදා තිබෙන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දෙයි. ඇතැම් විට එවැනි ගෘහ නිර්මාණ සැරසිල්ලෙන් යුත් ස්තූප පද්මාකාර වර්ගයට අයත් විය හැකි බවට මහාචාර්ය පරණවිතාන කරන ප්‍රකාශයේ වැදගත් කමක් නැත. ස්තූපයක හැඩය තීරණය වන්නේ එහි ගර්භය අනුව වන බැවිනි. පොළොන්නරුවේ දෙමළ මහා සෑය හා බුත්තල යුදනා ස්තූපය මෙම වර්ගයට අයත් වන බව පරණවිතාන මහතා පසුව ප්‍රකාශ කරයි.

එහෙත් යුදනා චෛත්‍යය කොට වෙහෙරක් නොව සතරැස් කොටුව හා කොත් කරැල්ලක් සහිත වූ පූර්ණ දාගැබක් වශයෙන් පැවති බව එහි දැනට සිදු කරන පුරාවිද්‍යා කැණීම්වලින් සාක්ෂි සහිතව තොරතුරු අනාවරණය වී ඇතැ යි, පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එච්.  විජයපාල මහතා ප්‍රකාශ කොට තිබේ. යුදනා සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන නූතන කැණීම් වලින් මෙය තහවුරු වී ඇත. දාගැබ පූර්ණත්වයට පත්වන පරිදි මෙවර ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව අපේක්ෂා කරයි.

යුදනා පිළිම ගෙය

යුදනා දාගැබ අසල පිහිටා ඇති පිළිම ගෙය මැටි බිත්තිවලින් යුක්තය. එහි ඉදිරිපස කොටස පසු කාලයක දී එකතු කරවූවක් බව පෙනේ. විහාරය ඇතුළත ඇති ප්‍රතිමා අතර බුදු පිළිමය හා දෑගසව් ප්‍රතිමාද, දේව ප්‍රතිමා ද, දක්නට ඇත. බිත්තියේ ඇතුල් පැත්තේ සහ පිට පැත්තේ මහනුවර යුගයට අයත් පැරණි චිත්‍ර පවතියි. එහෙත් පිට බිත්තියේ චිත්‍ර වල ඡායා සටහන් පමණක් දැනට ඉතිරිව ඇත. පිළිමගෙය ඇතුළත ලී සිවිලිමෙහි ද පැරණි චිත්‍ර රාශියක් පවතියි. එහෙත් සමහර චිත්‍ර මැකී ගොස් ඇත.

මහනුවර යුගයට අයත් ඔත් බුදු පිළිමය නිසියාකාර රූප ලක්ෂණයකින් සමන්විත නොවේ. එහෙත් දැනට එය පැරණි පිළිමයක් ලෙස සැලකිය යුතු වේ. මෑතකදී මෙම පිළිම ගෙයද ප්‍රතිසංසකරණයට ලක්කොට ඇති බව යුදනා භාරකාර, වත්මන් විහාරාධිකාරී ගල්ටැම්වත්තේ නන්දරතන හිමියෝ අවධාරණය කළහ. යුදනා විහාරයට මහනුවර රාජ්‍යයේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන් විසින් පවරන ලද යුදනා වෙහෙර සන්නස අනුව මෙම පිළිම ගෙය ද 18 වන සියවසෙහි අග භාගයට අයත් බව සැලකිය හැකි වේ.

යුදනා සංරක්ෂණය

දැනට යුදනා සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන පුරා විද්‍යා පර්යේෂණ කැණීම් අනුව යුදනා චෛත්‍යය යුග දෙකක නිර්මාණයක් වන බව තහවුරු වී තිබේ. දැනට මෙහි ප්‍රථම ඉදි කිරීමට අදාළ චෛත්‍යයේ නටබුන් ද හමු වී ඇති බව යුදනා විහාරයේ භාරකාර පූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරතන හිමියෝ අවධාරණය කළහ. එය පිහිටා ඇත්තේ වත්මන් සංරක්ෂිත චෛත්‍ය පවුර මැදි කරගෙනය.  පැරණි චෛත්‍ය වඩාත් විශාල කරමින් එයටත් වඩා දියුණු ශිල්පීය ක්‍රම අනුගමනය කරමින් සංරක්ෂිත චෛත්‍ය පවුර පසුව ඉදි කොට තිබේ. ඒ අනුව නිර්ණය කළ හැක්කේ මෙම යුදනා චෛත්‍යය යුග දෙකක නිර්මාණයක් වන බවයි.

ඒ අනුව සද්ධාතිස්ස හා මහා පරාක්‍රමබාහු යන රජවරුන් විසින් ඉදි කරවන ලද අනුරාධපුර හා පොළොන්නරු යන යුග දෙකටම අයත් චෛත්‍යය දෙකක සාධක දැනට ලැබී තිබේ. අනුරාධපුර යුගයට අයත් යැයි නිර්ණය කොට ඇති දාගැබේ පාදම සඳහා කලුගල් මිශ්‍ර මැටි බදාමක්, බොරළු මිශ්‍ර මැටි බදාම හා කුඩු ගල් වැනි දේ යොදාගෙන ඇත. දාගැබේ ගර්භය සඳහා හුණු මිශ්‍ර බදාමක් යොදාගෙන තිබේ. මෙහි හතරැස් කොටුව නිර්මාණය කර තිබෙන ආකාරය විශේෂත්වයක් ගනියි. ගඩොල් තාක්ෂණය යොදා ගනිමින් ක්‍රමානුකූලව එක් ගඩොලක් මත ගඩොලක් සිටින සේ පිරිමීඩ ආකාරයට නිර්මාණය කර ඇති බැවින් මෙය අන් ස්තූපවලට වඩා විවිධත්වයක් හිමි කර ගනියි. එම චෛත්‍යෙයේ නැගෙනහිර දිසාවේ හතරැස් කොටුවේ පාදම පැහැදිලිව හදුනා ගැනීමට ද දැනට සිදු කර ඇති පුරා විද්‍යා කැණීම් උපකාරවත් වී ඇත.

පොළොන්නරු යුගයේ දී මෙම පැරණි දාගැබ වටා නැවත තවත් දාගැබක් ඉදි කර ඇති බවට ද සාධක ඇත. එහි ගර්භය මෙම පැරණි දාගැබේ ගර්භයේ කෙළවරේ සිට මීටර් තුනක් පමණ මධ්‍යයට වන සේ නැවත නිර්මාණය කර තිබේ. පැරණි චෛත්‍යය වඩාත් විශාල කරමින් සංරක්ෂිත චෛත්‍යය පවුර පසුව ඉදි කොට තිබෙන බව ඒ අනුව තහවුරු වේ. එබැවින් යුදනා චෛත්‍යය යුග දෙකක නිර්මාණයක් වන බව නිර්ණය කළ හැකිය.

පොළොන්නරු යුගයේ, දාගැබේ පාදම සඳහා ක්‍රමානුකූලව ඇතිරූ කැටගල් තට්ටුවක් හා ක්‍රමානුකූලව ඇතිරූ කලු ගල් තට්ටු දක්නට ඇත. මෙම කලුගල් ඇතිරීමේ දී පොළොව මට්ටම් තලමිති (Level) කිරීම සඳහා යොදාගෙන ඇත්තේ මැටි බදාමය. මෙහි තවත් විශේෂත්වයක් වනුයේ, එකම ප්‍රමාණයේ ගඩොල් යොදා තිබීමයි. මෙහි පේසා වළලුවල බොරදම් (Moulding) සතරැස් ආකාරයට සකස් කර ඇතත්, දාගැබේ බටහිර පැත්තට වන්නට පමණක් බොරදම් සකස් කර ඇත්තේ පද්මාකාරවය. සලපතල මළුවේ ද ක්‍රමානුකූලව ගඩොල් අතුරා ඇත. එහි කැණීම් කටයුතු තවමත් සිදු වෙමින් පවතී.

දැනට යුදනා චෛත්‍යය ආශ්‍රිතව සිදු කර ඇති පර්යේෂණ කැණීම් අනුව පුරාවස්තු රාශියක් සොයා ගෙන තිබේ. ඒ අතර අවුල් වූ පළමු පාංශු ස්ථරයේ තිබී ලෝහ සෙම්බුවක් හා VOC කාසි 400ක් පමණ සොයාගෙන ඇත. එයට අමතරව වළං කටු රාශියක් ද හමු වී ඇත. 32 වන ස්ථරයේ තිබී එනම් චෛත්‍යයේ බටහිර පැත්තට  වන්නට සෙන්ටි මීටර් 61ක් පමණ උස් වූ ලෝහ කරඬුවක් හමු වී ඇත.

කරඬුව තුළ දේව රූපයක් හා බුදු පිළිම 3ක් තැන්පත් කොට තිබූ අතර දේව රූපයේ එක් අතක් කැඩී ඇත. එය පද්මාසනයකින් ද යුක්තය. ධ්‍යාන මුද්‍රාව සහිත බුදුපිළිම තුන පිළිවෙළින් අඟල් 6, 5 සහ 3 ක් වශයෙන් උස වේ. ඒවායේ බර ද පිළිවෙළින් ග්රෑම් 1600, 800 සහ 600 ක් වේ. නාථ දේව ප්‍රතිමාවක් යැයි අනුමාන කළ හැකි දේව ප්‍රතිමාව අඟල් 3ක් උස වන අතර ග්රෑම් 700 ක පමණ බරකින් යුක්තය. මෙහි 34 වන ස්ථරයෙන් ලෝහ කෝප්ප දෙකක් ද, ලෝහ තැටියක් ද, හමු වී තිබේ. පර්යේෂණ කැණීම් හා තහවුරු කිරීම තවදුරටත් සිදු කෙරෙමින් පවතියි.

යුදනා දාගැබේ ඇති පැරණි ගඩොල් වැඩි කොටසක් ස්ථිර ලෙසින් එලෙස ම පවතින බැවින්, එය දාගැබේ පැරණි ස්වරූපය නිසියාකාරව හඳුනා ගැනීමට ඉවහල් වේ. චෛත්‍යය ගර්භයේ තහවුරු කටයුතු ද සෑහෙන ප්‍රමාණයක් සිදු කර ඇත. කැණීම් මගින් හමු වූ පැරණි ගඩොල් මෙන්ම ඒ හා සමානව සැකසූ නූතන ගඩොල් යොදා ගනිමින් සංරක්ෂණ කටයුතු සිදු කෙරේ.

දැනට දකින්නට ඇති පරිදි යුදඟනා දාගැබේ සම්පූර්ණ උස මීටර් 26ක් හා සෙන්ටි මීටර් 40ක් වේ. ගර්භයේ උස මීටර් 9ක් හා සෙන්ටි මීටර් 90කි. වට ප්‍රමාණය විශාලතම චෛත්‍යය වන යුදනා චෛත්‍යයේ විශාලත්වය වට අඩි 1038 අඟල් 6ක් පමණ වේ.

ඌව - වෙල්ලස්ස ප්‍රදේශවාසීන්ට ලැබුණු අගනා දායාදයක් වන මෙම යුදනා චෛත්‍යය කාලාන්තරයක් තිස්සේ විවිධ පීඩාවන්ට පත්ව ගරා වැටී නටබුන්ව ගිය තත්ත්වයක පැවතුණි. මෙම ඓතිහාසික උරුමය ආරක්ෂා කරගෙන එම ස්ථානයට පුනර්ජීවයක් ලබා දීම සඳහා ක්‍රියා කෙළේ වත්මන් විහාරධිපති අතිගරු ගල්ටැම්වත්තේ ශ්‍රී චන්දජෝත්‍යාභිධාන මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝණායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. යුදනාව සේම තවත් එවැනිම තත්ත්වයකට මුහුණ දී තිබූ ඓතිහාසික දෙමටමල් විහාරය ද ප්‍රතිසංස්කරණය කර වීමේ භාරදූර කාර්යයහි ද නියැලී සිටි උන්වහන්සේ මෙම ස්ථානයන් හි පැරණි ශ්‍රී විභූතිය යළි ඔප් නැංවීම් වස් දැඩි පරිශ්‍රමයකින් කටයුතු කළහ. මෙම ක්‍රියාවේ දී උන් වහන්සේට විශාල ශක්තියක් වූයේ යුදනා රාජමහා විහාරාධිකාරී හා භාරකාර ශාස්ත්‍රවේදී, පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන හිමිපාණන් වහන්සේ ය.

මෙසේ කාලාන්තරයක් තිස්සේ නටබුන්ව ගිය යුදනාව නැවත මහජනතාවගේ වැඳුම් පිදුම් සඳහා උපයෝගි කර ගත යුතු යැයි, විහාරාධිපති නාහිමියන් ප්‍රම්‍රඛ ප්‍රදේශ වාසීන්ගෙන් නැුනු කාලීන ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස වාර කිහිපයකදීම ප්‍රතිසංස්කරණයට ලක් විය. නමුත් එය නිමාවක් දැකිය හැකි සංවිධානාත්මක වැඩපිළිවෙළක් නොවීය. මෑතකදී මෙම යුදනා චෛත්‍යය පිළිසකර කිරීම අරඹන ලද්දෙ වර්ෂ 1979 දී එවකට සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයාව සිටි ගරු ඊ.එල්.බී. හුරුල්ලේ මැතිතුමා විසිනි. එවකට මොනරාගල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ ගරු ජේ.ඇම්. කුමාරදාස මහතාගේ ආරාධනය පරිදි ආරම්භ කළ මෙම පිළිසකර කටයුතු වලදී වසර දහස් ගණනක් තිස්සේ ගරා වැටී පස් වලට යට වී තිබූ චෛත්‍යයේ සලපතළ මළුව හා පේසා වළලු මතු කර ගැනීමට හැකි විය. එහෙත් මද කලකින්ම එම වැඩ කටයුතු අඩපණ වී චෛත්‍ය වට යළිත් වල් බිහි වන්නට පටන් ගත්තේ ය.

වර්ෂ 1992 දී බුත්තල ගම් උදාව ඇරඹිණි. එයට සමගාමීව දිවාංගත ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් යුදනා ප්‍රතිසංස්කරණ කටයුතු ඌව පළාතේ ප්‍රධාන අමාත්‍ය ගරු පර්සි සමරවීර මැතිතුමා වෙත යොමු කරවන ලදී. ඒ අනුව නැවතත් 1992 වසරේ දී එවකට සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යය ගරු වි.ජ.මු. ලොකුබණ්ඩාර මැතිතුමා අතින් දෙවන වරටත් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරිණි. ඒ ප්‍රථම පිළිසකර කටයුතු ඇරඹීමෙන් වසර 13කට පසුවය. මෙහි දී ප්‍රධාන අමාත්‍යතුමන්ගේ උපදෙස් මත ඌව පළාත් සභා යුදනා සංවර්ධන ව්‍යාපෘතිය චෛත්‍යය සංවර්ධන අරමුදලක් ද පිහිටුවීය. ඉක්බිතිව චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු ලහිලහියේ කරගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙස චෛත්‍ය පතුලේ සිට පේසා වළලු දක්වා සම්පූර්ණයෙන් අවසන් කොට ගර්භය ඉදි කිරීම් කටයුතු ද ආරම්භ කෙරිණි. ඒ සඳහා අවශ්‍ය ගඩොල් ලක්ෂ ගණනක් නිපදවන ලද්දේ 87-89 කැරැල්ලේ දී ආරක්ෂක හමුදාව යටතට පත්ව පුනුරුත්ථාපන කඳවුරු වල රදවා සිටි තරුණයන් විසිනි. මෙසේ ගර්භයේ වැඩද විශාල ප්‍රමාණයක් සිදු වෙමින් පැවති අතර ජනාධිපති තුමාගේ හදිසි වියෝවත් සමඟ එය ක්‍රමයෙන් මන්දගාමී ස්වරූපයක් ඉසිලීය.

පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ඩබ්.එච්. විජයපාල මහතාගේ පූර්ණ අධීක්ෂණය මත ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, රංජිත් මද්දුම බණ්ඩාර, ජයසුන්දර විජේකෝන් හා ආනන්ද කුමාරසිරි යන හිටපු මැති ඇමතිවරුන් ගේ මැදිහත් වීම යටතේ තෙවන වරටද යුදනා සංරක්ෂණ කටයුතු වර්ෂ 2003 අප්‍රේල් මස 26 වැනි දින ආරම්භ කෙරිණි. මෙය ආරම්භ වූයේ රුහුණු අසිරිය හා ශ්‍රී විභූතිය පිළිබිඹු කෙරෙන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථාන ප්‍රතිසංස්කරණය කරවීමේ හා සංරක්ෂණය කරවීමේ වැඩපිළිවෙළ යටතේය.

චූලංගනී විහාර සංකීර්ණය

දුටුගැමුණු -සද්ධාතිස්ස දෙ සොහොයුරන් පළමු වරට යුද වැදුණු පූර්වෝක්ත චූලංගනී පිටිය පිහිටා තිබුණේ දැනට දක්නට ඇති පැරණි චූලංගනී දාගැබ් සංකීර්ණය පිහිටි ස්ථානය සමීපවය. මෙම චූලංගනී දාගැබ පිහිටා ඇත්තේ යුදනාව දාගැබ පිහිටි ස්ථානයට ළඟාවීමට පෙරය. චූලංගනී දාගැබ සිට අඩි 600ක පමණ දුර ප්‍රමාණයකින් යුදනා දාගැබ පිහිටා ඇත.

ගරා වැටී පැවැති චූලංගනී දාගැබ හා තදනුබද්ධ සෙසු ගොඩනැගිලි මෑතකදී ප්‍රතිසංස්කරණය කොට ඇත. මෙම චූලංගනී විහාර සංකීර්ණයට අයත් ස්මාරක කිහිපයක්ම වෙයි . එනම්,

1. බෝධිඝරයක් වශයෙන් සැලකෙන ගොඩනැගිල්ලක්,

2. පිළිම ගෙයක්

3. කොට ගල් කණු සහිත ගොඩනැගිල්ලක්,

මෙහි තවත් අවශේෂ ගොඩනැගිල්ලක් තිබූ බවට ද සාධක ඇත. එහෙත් පුරා විද්‍යා කැණීම් වලදී එවැන්නක් හමු වී නොමැත. මෙම සියළු ගොඩනැගිලි මැදි වන සේ ඒ වටා ප්‍රාකාර බැම්මක් පැවති අතර එයද දැනට සංරක්ෂණය කොට පවතී.

දාගැබ පිහිටි භූමිය ට ඇතුළු වන දොරටුව පියගැට පෙළකින් ද සමන්විත වන අතර එය උතුරු දිශාවෙන් පිහිටා තිබේ. මෙසේ චූලංගනී දාගැබට ඇතුළු වීම සදහා යොදාගෙන ඇත්තේ එක් පියගැට පෙළක් පමණි. එහෙත් පුරාතන අවධියේ දාගැබ් දෙස බැලීමේ දී දාගැබකට ඇතුළු වීම සඳහා දොරටු සතරක්ම පවත්නා බැව් පෙනේ. චූලංගනී දාගැබේ පිහිටීම වෙනත් ස්ථානවල ඇති වටදාගෙයට සමානය. පියගැට පෙළින් ඇතුළු වූ කල ගඩොලින් බැඳ ගඩොල් අතුරා ඇති ගඩොල් බැම්ම වෙනත් වටදා ගෙවල් වල දැකිය හැකි අංගයකි. බැම්මෙහි පළල අඩි 2ක් හා අඟල් 2ක් වේ. මෙම දාගැබ පැදකුණු කිරීම සඳහා සකස් කල ප්‍රදක්ෂිණ පථයක් ද දැකිය හැකිය. එය අඩි 8ක් හා අඟල් 4ක පළලකින් යුක්තය. දාගැබ් මළුව වටා පවත්නා බැම්මේ උස අඩි 4ක් හා අගල් 8ක් වේ. බැම්මේ අඩි තාලම කළු ගලෙන් නිමවා ඇත. එයට උඩින් ඇති බැම්ම ගඩොලින් සාදා ඇත. මැදින් පිහිටා ඇති දාගැබේ විශ්කම්භය අඩි 15ක්  වේ. නූතන සංරක්ෂණය අනුව අඩි 12ක පමණ උසින් යුක්තය.

චූලංගනී දාගැබට දකුණු දෙසින්  අඩි 3ක් හා අගල් 9ක් දුරින්, අඩි 2ක් පමණ උස් වූ අඩි තාලම් ගල් කුළුණු 4ක් පිහිටා ඇත. එය පසු කලෙක මල් ආසනයක් වශයෙන් භාවිතයට යොදා ගත් බවක්  සිතිය හැකිය. මෙවැනි අඩි තාලම් ගල් 3ක් පිහිටීම නිසා යම් කලෙක මෙම දාගැබට වහලක් සවි කර තිබූ බව ද  අනුමාන කළ හැකිය. නොඑසේ නම් වහලක් සවි කිරීමට උත්සාහයක් දරා ඇති බවද සිතිය හැකිය. වටදාගෙයක අංග ලක්ෂණ ද දැකිය හැකි බැවින් එසේ අනුමාන කිරීම ද සාධාරණ බැව් පෙනේ.

චූලංගනී දාගැබ් සංකීර්ණයට අයත් මළුව තුළ පිළිම ගෙයක නටඹුන් ද දැකිය හැකිය. පිළිම ගෙය වටා ඇති ගඩොල් බැම්ම අඩි 2ක් හා අගල් 6ක් පමණ උසින් යුක්තය. අඩි 2ක පළලින් යුක්ත ගඩොල් බිත්තියකින් හෙබි ගොඩනැගිල්ලක් වශයෙන් මෙම පිළිම ගෙය පැවතී තිබූ බව දැක ගත හැක. ගල් කණු 12කින් යුක්තව මෙම ගොඩනැගිල්ල ඉදිකරවා ඇත. ඒවා අතර දැනට ශේෂව ඇති උසම ගල් කණු 6, අඩි 7ක් හා අඟල් 6ක උසින් යුක්ත වන අතර, අඟල් 10 × අඟල් 10ක පළලින් යුක්ත වේ. ඉතිරි ඒවා තරමක් දුරට කැඩී ගොස් ය. පුරාවිද්‍යා කැණීම් අනුව මෙම විහාර භූමියේ තිබූ ප්‍රතිමා 3ක නටඹුන් සොයාගෙන ඇත. ඒවාද ඒ ඒ තැන්හි විසිර ගොස් කැබලි වශයෙන් පැවතිණ. මෙම භූමියේ ඇති අවශේෂ සාධක අනුව මෙය පිළිම සතරක් පැවති පිළිම ගෘහයක් බව තීරණය කළ හැකිය.

චූලංගනී දාගැබට හා පිළිම ගෙයට ඉදිරි පසින් කොට ගල් කුළුණු සහිත තවත් ගොඩනැගිල්ලක නටඹුන් දැකිය හැකිය. එම ගල් කුළුණු ටැම්පිට විහාරයක ස්වරූපය ගනී. එක් පේළියකට කුළුණු 4 බැගින් පේළි 5කින් යුක්තව එම ගල් කුළුණු පිහිටා තිබේ. ඒවායේ උස ප්‍රමාණය අඩි 3හි සිට අඩි 3ක් හා අල් 6 දක්වා වේ. මෙම ගල් කුළුණු වල පුමාණය අනුව එය ටැම්පිට විහාරයකට හෝ ටැම්පිට වෙනත් ගොඩනැගිල්ලකට පමණක් සීමා වේ. ඒ අන් කිසිදු ගොඩනැගිල්ලක් සඳහා එය භාවිත කළ නොහැකි වන බැවිණි. මෙම ගොඩනැගිල්ලට පසෙකින් උතුරු දෙසින් තවත් නෂ්ඨාවශේෂයන් ද පිහිටා ඇත. මෙහි පිහිටා ඇත්තේ ගල් කණු 6ක් පමණය. එහි උසම කණුවේ ප්‍රමාණය අඩි 4ක් හා  අගල් 8කි. මෙම ගල් කණු වලට අයත් ගොඩනැගිල්ලක යම් පාදමක් හමු වී නොමැති බැවින් මෙය කුමකට යොදා ගත්තේදැයි, නිශ්චිත වශයෙන් සඳහන් කළ නොහැකිය.

චූලංගනී විහාර සංකීර්ණය පිහිටි මෙම පැරණි අවශේෂයන් හා පිළිම ගෙයි ඇති නටඹුන් වූ බුදු පිළිම දෙස බැලීමේ දී මෙම විහාර සංකීර්ණ ගොඩනගා ඇත්තේ 7 වන ශත වර්ෂයේ දී පමණ බව  අනුමාන කළ හැකි වේ.

යුදනා වෙහෙර සන්නස

ලංකාවේ බුද්ධ ශාසනය තහවුරු වීමත් සමග විහාරස්ථාන වල වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ සඳහා රජවරු විසින් කරන ලද යම් යම් ප්‍රදානයන් ගැන මූලාශ්‍ර වල සඳහන් ව ඇත. මේ අතර පළමු වන ප්‍රදානය ලෙස නම් කළ හැක්කේ දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 307-260) අනුරාධපුර මහමෙවුනා උයන සඟ සතු කොට පූජා කිරීමයි. වට්ඨගාමිණී රජු (ක්‍රි.පූ. 89-77) කුපික්කල විහාරයේ මහාතිස්ස තෙරණුවන් සඳහා ඉඩ කඩම් පූජා කිරීම ඇතුලුව රජවරුන් විසින් විහාරස්ථාන වෙනුවෙන් කරන ලද ප්‍රදානයන් රාශියක් ගැන මූලාශ්‍ර වලින් තහවුරු කර ගත හැකි ය. ඉඩම් අයිතිය පිළිබඳ ව පිළිගත් සම්මතයන්ට අනුකූලව මෙම ප්‍රදානයන් සිදු කෙරිණි. මෙම ඉඩම් ප්‍රදානයන්ට කුඹුරු, කෙත්වතු, උස්බිම් හෝ උද්‍යානයන් ඇතුළත් විය. ඓතිහාසික ඌව -වෙල්ලස්සේ බොහෝ වෙහෙර විහාර වලට විශාල ප්‍රමාණයේ ඉඩ කඩම් රජුන් විසින් පරිත්‍යාග කොට ඇත. මෙම ව්‍යුහය තුළ අද දක්වාත් විහාර දේවාලගම් වලට සන්නස් මගින් යම් යම් ප්‍රදානයන් සිදු කළ නීත්‍යානුකූල අයිතිවාසිකම් පවතියි.

බුත්තල ඓතිහාසික යුදනා රාජමහා විහාරයටද වර්ෂ 1716 දී රාජාධිරාජසිංහ රජු (ක්‍රි.ව. 1781-1798) කළ පූජාවක් ස්ථිර කරමින් ලංකාවේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන් විසින් (ක්‍රි.ව. 1798-1815) පුදන ලද ඉඩම් හා කුඹුරු පිළිබඳ විස්තර ඇතුළත් සන්නසක් තිබේ. ඌවේ ඓතිහාසික සන්නස් අතර අද්විතීය ස්ථානයක් හිමි වන එය යුදනා වෙහෙර සන්නස නමින් හැඳින්වෙයි.  එම සන්නස මෙසේ ය.

......... ස්වස්ති ශ්‍රීකර මණොරම්‍ය කනකගිරි ශෘංගතුංගා ලංකාධ්වජ ත්‍රී සිංහලයික චත්‍රධරධීරතර වික්‍රම ප්‍රශස්ත ශ්‍රීමත් ශ්‍රී වික්‍රම ප්‍රශස්ත ශ්‍රීමත් ශ්‍රී වික්‍රම රාජසිංහාභිධාන වූ .....උතුම්... පරම බුද්ධාංකුරානුගත අනවරත දානාද්ධ්‍යාශයං යුක්ත වූ දෙවි මහා රාජෝත්තමයානං වහංශෙ මෙම විහාරෂ්තානයෙහි කාරනාව දිව කනින් අසා වදාරා ඊට කරුනා සංතොසයෙහි දිවස් එළියේ පනිවිඩ පනතිං යුධගනා වෙහෙර ෂ්ථානයට පුදශ්‍රීත් පවත්වන රඟට දෙවා වදාළා වූ භූම්මික උඩගම ගමෙ කුරු වී කුඹුර බිජු පහමුණේ වපසරිය  ද, එම ගමෙං දෙයියන්නෙ අරාව බිජු යෙලමුණෙ වපසරිය ද, මයිලාදෙන ගලැපොත්තේ කුඹුර බිජු යෙලමුණෙ වපසරිය ද, උනුපොතු වෙලේ අරාවෙං පීල්ලේ කුඹුර බිජු යෙලමුණෙ වපසරිය ද පීල්ලේ වෙලෙං දෙයියන්නෙ අරාව බිජු දෙ පෑලෙ වපසරිය ද.......

ඇතා කුඹුරේ අරාවෙ දුනුගෙදොල වී සෙපෑලේ වපසරිය ද නොහොත් .... තවද එහි සතර මා ඉමවල් ඇතුලු ව දෙවා වදාලා වු ගොඩයිම් තරම නම් .... නැගෙන ඉර දිබ්බාගයෙන් පරපාඩයෙන් මෙගොඩත් දකුණු දිගින් කිරිමැටිවල සහ කිරි ඉබ්බා ගත මඩ ද දියමල්වඩ සහ මොලදැමු ආර ද බස්ණාඉර දිබ්බාගයෙන් හරියල පොත්ත සහ කොතුලා කෙමද, උතුරු දිගින් පුහුල්ගල කඳුවැටිය සහ එම ආර ද යන මෙකී සතර මායිම් ඇතුළුව මේ භූමිප්ප්‍රදේශය ශක වර්ෂ එක්වා දහස් සත්සිය දහයට පැමිණි මෙම වර්ෂයෙහි වෙසක් මස පුර පසළොස්වක් ලත් මඟලං දින විසෑ නැකතිං බුත්තල යුදනා පිටියේ වෙහෙර ෂ්ථානයට නිරවුල් ව ස්වර පුදශිරි පවත්වන රඟට ශාසණාධාර වූ ශ්‍රී රාජාධිරාජසිංහාභිධාන වූ ත්‍රි සිංහලාධීස්ව්‍ර  වූ මහවාසලින් දෙවා වදාළා වූ පණතත්..... එසේම ..... පණිවිඩ පණතත් ...... මෙයින් යම් කෙනෙක් හොරකමෙන් සහ බලහත්කාරයෙන් යමෙක් පැහැර ගත්තේ නම් :

තීනංවා යදිවා කට්ඨං පුප්ඵං වා යදි වා ඵලං

යො හාරේ බුද්ධභොගස්ස මහාපෙතෝ භවිස්සති

සුදත්තං පර දත්තං වා යො හරෙති වසුන්ධරා

ශෂ්ටිර්වරුර්ෂසහස්‍රානි විෂ්ට්‍රායම් ජායතෙ ක්‍රිමි

සීසෙන තෙසං සතයොජණානි තුද්ධං භවෙ වීසති යොජණානි

ජිව්හංච දීඝං නවයොජණානි නාසො ච දීඝං අනුයොජනානි

සඤ්ජීවං කාලසූත්‍රං ච සංඝාතො රෞරවරේනවා

මහාරෞරවතා පංච ප්‍රතාපාචීචි නාමකා

දනාපාලනයෝර්මද්ධ්‍යෙ දානාත්ශ්‍රෙයොනුපාලනම්

දාතාස්වර්ගමවාප්නොති පාලනාදච්චුතන් පදං

අවිරාරොග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මෙවච

අථො නිබ්බාන සම්පත්ති ඉමිනා තෙ සමිජ්ඣතු

බන්ධා තේ වචිරං ආයු බ්‍රාමණාභොග මෙව ච

නිසඛා සුමනා චෙව ලභන්තු පුත්තදාරකං මන්ධා

මෙ භූමිදානයට ඇතුළත් ව බශ්මාත්ත්‍රකිං සමාදං වුනු කෙනෙක් ඇතිනං ස්වර්ග මෝක්ෂ සම්පත් සිද්ධ වෙනවා ඇති. මෙයින් යමෙක් ගත්තේ නං අධම වෙති. අභවු ස්ථානයට පැමිණ මහදුක් විඳිනාහු නම් වෙත්.......

- ශ්‍රී -

මෙය ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ පණිවුඩ පණතක් වන අතර යුදනා වෙහෙර පුදශ්‍රීත් පවත්වන රඟට දෙවා වදාළා වූ ගම්වරය ගැන සම්පූර්ණ විස්තරය මෙහි ඇතුළත් වෙයි. මෙම ගම් වරයෙහි භූමි ප්‍රදේශය අක්කර 1739කි.

යුදනා රජමහා විහාරයට අයත් මෙම ගම් බිම් අකටයුතු ලෙසින් පරිහරණය කළ හොත් අධම තත්ත්වයට පත්වන බව යුදනා සන්නසට අනුව පැහැදිලි කර ඇත. එය විහාර පාලනය සදහා පහසුවක් වන්නට ඇතැ යි සිතිය හැකි ය. ත්‍රිවිධ රත්නය සන්තක කොට ඇති මෙම දේපොල ශාසනය අතුරුදහන් වනතෙක්ම  එම ආරාමික භික්ෂූන්ට ම අයත් වෙයි. ඒ අනුව යුදනා වෙහෙර  සංවර්ධනයට සුදුසු විහාර පරිපාලන රටාවකට රජයෙන් ප්‍රබල මෙහෙයක් සිදු කොට ඇත. ඒ අනුව යුදනා විහාරයේ පැවත්ම සිදු වන්නේ දිගු කාලීන සැලස්මකට අනුකූලවය.

යුදනා භික්ෂු පරපුර

නුවර යුගයේ දී ලක් දිව සෙසු ප්‍රදේශ වල මෙන්ම ඌව ප්‍රදේශයේ ද උපසම්පදා භික්ෂු ශාසනය අභාවයට ගොස් තිබුණි. 18 වන සියවසේ වැලිවිට සරණංකර සඟරජ හිමියන් ඇති කළ ශාසනික ප්‍රබෝධයෙන් පසු ව ඌවේ නැවත වරක් උපසම්පදා භික්ෂූ ශාසනය ආරම්භ විය.

මෙම යුගයේ දී ලක්දිව සෙසු පළාත්වල මෙන් ම ඌව පළාතේ ද බොහෝ විහාරස්ථානවල වාසය කෙළේ ගණින්නාන්සේලා නමින් හැඳින් වූ සිල්වත් පිරිසකි. උළුගල විහාරයේ වැඩ සිටි සූරියසාමි (සූරිතිස්ස) හා ඉරුගල්සාමි (ඉරුගල් තිස්ස) මෙවැනි සිල්වත් දෙනමකි. මේ දෙනම එවකට මහනුවර අස්ගිරි මහා විහාරයේ දී උපසම්පදාව ලත් බව වාර්තා වේ. ඌව-වෙල්ලස්සේ වැඩ සිටි කොකුන්නෑවේ සංඝකීර්ති හිමියන් මහනුවර අස්ගිරියෙන් උපසම්පදාව ලත් තවත් සමකාලීන හිමිනමකි. මෑත භාගයේ ඌව ප්‍රදේශයේ සියම් මහා නිකාය පරපුර බිහිවූයේ කොකුන්නෑවේ හිමියන් මුල්වීමෙනි.

මහනුවර අස්ගිරි මහා විහාර පරපුරෙන්ම ඌව -වෙල්ලස්සේ යුදනා භික්ෂු පරපුර ද ප්‍රභවය වී ඇත. අස්ගිරි මහා විහාරය මූලස්ථානය කොට ගත් භික්ෂූහු බදුලු මුතියංගණ විහාරයේ හා කොස්ගොල්ල විහාරයේ වැඩ වාසය කළහ. එම විහාරස්ථාන දෙකෙන් ම යුදනාවට වැඩම වූ භික්ෂූන් වහන්සේලා යුදනාවේ සංවර්ධන කටයුතු වල යෙදුණ හ. ඒ අනුව ඓතිහාසික යුදනා රාජමහා විහාරය හා තදනුබද්ධ විහාරස්ථානයන්හි වැඩ වාසය කරන භිකෂූන් අයත් වන්නේ අස්ගිරි මහාවිහාර පරපුරෙන් පැවතෙන යුදනා භික්ෂූ පරපුරටයි. යුදනා විහාර පරපුරට අයත් විහාරස්ථාන මෙසේ ය.

1. ඓතිහාසික දෙමටමල් විහාරය,

2. අලුත්වෙල පුරාණ විහාරය,

3. වගුරුවෙල පෝයමළු පුරාණ විහාරය,

4. පැල්වත්ත සීනි කර්මාන්ත ආයතනයේ ශ්‍රී චන්ද්‍රමධුරාරාමය.

යුදනා විහාර පරපුරට අයත් යතිවරයන් වහන්සේලා අතර වර්ෂ 1857  දී යුදනා විහාරය පිළිසකර කොට නවකම් කෙළේ දැවුගොල්ලේ සෝණුත්තර හිමියන් ය. ගල්ටැම්වත්තේ රතනපාල නා හිමියෝ ද යුදනා මහා විහාරයේ විහාරාධිපතිව වැඩවාසය කළහ. වර්ෂ 1954 දී මෙම ඓතිහාසික යුදනාවට ගිය පුරාවිද්‍යා චක්‍රවර්ති තිරාණගම රතනසාර නා හිමියෝ උන් වහන්සේ පිළිබඳව කෙටි විස්තරයක් ශ්‍රී ලංකා සඟරාවට ලියා දක්වති. රතනපාල නා හිමි යුදනා මහා සෑය ස්වකීය පෞද්ගලික පරිශ්‍රමයෙන් හෙළි පෙහෙළි කරන අයුරු දැක්වෙන ඡායා රූපයක් ද මතු කී සඟරාවේ පළ වී තිබුණි. එවකට යුදනාව අවට ගම්වැසියන්ගේ දිළිඳුකම දුටු රතනපාල නා හිමි යුදනාවට අයත් අක්කර 1739 ක් වු විශාල භූමි භාගයෙන් අක්කර 1200ක් ජනතාව අතර බෙදා දී තිබේ.

යුදනා රාජමහා විහාරය කේන්ද්‍ර කොට ගෙන ජාතික, ආගමික, සාමාජීය, හා සංස්කෘතික වශයෙන් ප්‍රමුඛ මෙහෙවරක් සිදු කළ තවත් කීර්තිමත් යතිවරයෙකු ලෙස රත්තරං කිවුලේ පේමානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ හඳුන්වා දිය හැකිය. ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ උත්තරීතර විභාගයෙන් භාෂාත්‍රෙයන් සමත්ව වර්ෂ 1977 දක්වා පණ්ඩිත උපාධිය ලත් ඌවේ ගිහි-පැවිදි වියත් පිරිස අතරට යුදනා විහාර පරපුරේ ගල්ටැම්වත්තේ පඤ්ඤාතිස්ස හිමියෝ ද එක් වෙති. වර්ෂ 1957 දී පණ්ඩිතෝපාධියෙන් පිදුම් ලැබූ උන් වහන්සේ යුදනා විහාරාධිපති ලෙස වසර 30ක දිගු කාලීන සේවාවක් සිදු කළහ.

මෙකී යුදනා රාජමහා විහාර භික්ෂූ පරපුරේ දීප්තිමත් යතිවරයන් වහන්සේ නමක් ලෙස වත්මන් විහාරාධිපති අතිගරු ගල්ටැම්වත්තේ ශ්‍රී චන්දජෝත්‍යාභිධාන මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හඳුන්වා දිය හැකිය. යුදනා රාජමහා විහාරයේ වත්මන් ප්‍රබෝධය උන් වහන්සේගේත්, විහාරාධිකාරී හා භාරකාර ශාස්ත්‍රවේ දී පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන හිමිපාණන් වහන්සේගේත් දැඩි පරිශ්‍රමය මත සකස් වූවකි.

යුදඟනා රාජමහා විහාරය මුල් කරගෙන සිදුවන ජාතික, ආගමික, සාමාජීය හා සංස්කෘතික සේවාවන්හි දී තත් විහාර පරපුර නියෝජනය කරන ශාස්ත්‍රාචාර්ය ගල්ටැම්වත්තේ පුඤ්ඤානන්ද, මොරටුවගම ධම්මරතන, වැල්ලවායේ අරියධම්ම, රාජකීය පණ්ඩිත පුස්සැල්ලෑවේ ඥාණරතන  යන හිමි වරුන් ප්‍රමුඛ සියළුම සාමණේර හිමිවරුන් ගෙන් ලැබෙන සහයෝගය එකී ඓතිහාසික සිද්ධස්ථානයෙහි චිරස්ථිතියෙහි ලා ප්‍රබල පිටුවහලක් වී තිබේ.

යුදනා සෙල්ලිපිය

මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-1185) රජු ගෙන් පසුව ලංකාවේ රජ වූ 2 වන විජයබාහු රජුට වැඩි කලක් රජ කිරීමට ලැබුණේ නැත. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල (ක්‍රි.ව. 1187-1196) රජු පොළොන්නරුවේ රජ කරමින් ලක්දිව එක්සේසත් කොට තබා ගැනීමට සමත් වූ අන්තිම පාලකයා වූයේ ය. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජුගේ පාලන කාලයේ සිටම ඌව ඇතුළු රෝහණ දේශයේ ප්‍රාදේශීය පාලකයන් බලවත් ව නැගී එමින් සිටි බව දක්නට ලැබේ.

කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු ලංකාවේ දකුණේ සිට පොළොන්නරුව දක්වා විහිදුණ මාර්ගයේ තමා විසින් නිශ්ශංක ගව්ව නමින් ප්‍රකට දුර ප්‍රමාණය සටහන් ගාවුත කණු (ගල් ටැම්) පිහිටුවන ලද බව ස්වකීය හැටදාගේ සෙල්ලිපියේ සඳහන් කර ඇත. පොළොන්නරු යුගයේ දී රුහුණේ  අගනුවර වශයෙන් පැවති මහානාගහුල සිට (අම්බලන්තොට) පොළොන්නරුව හරහා ගංතලාව හෙවත් කන්තලේ දක්වා වැටී තිබූ මහා මාර්ගයක් පිළිබද තොරතුරු එම මාර්ගයේ තැනින් තැන තිබී හමු වූ නිශ්ශංකමල්ල රජුගේ ඉහත කී ටැම් ලිපි කිහිපයක් මගින් අනාවරණය වී ඇත. එකක් අඩි 06ක් පමණ උස මෙම ගල්ටැම් හෙවත් ගවු කණු ඒවා පිහිටා ඇති ස්ථාන ඇසුරෙන් එකල මාර්ගය වැටී තිබූ ඉසව්ව දැනගත හැකිය. දකුණේ අම්බලන්තොට හා උතුරේ කන්තලේ යන ප්‍රදේශ දෙක අතර අද පවා දක්නට ලැබෙන එම ගවු කණු පිහිටා තිබෙන ස්ථාන මෙසේ ය.

වැලිගත්ත, තිඹිරිගස් ආර,  යුදනාව, මැඬිල්ල, වාඳුරුප්ප, කටුගහගල්ගේ, අතලේ, අමුනේකදුර, බකිණිගහවෙල වීදිය, තිඹිරිය ආර, තිඹිරිය, පොතුබන්දන, කහටපිටිය, ඉලුක්කාපුදෙණ, වේරගොඩගල (මහවැලි ගඟට නුදුරෙනි), කනිච්චිගල, කන්තලේ, අග්බෝපුර, මුල්ලෙපොතාන

නිශ්ශංකමල්ල රජු ලංකාවේ දකුණේ සිට උතුරු ප්‍රදේශය දක්වා විහිදුණ මාර්ගයේ පිහිටුවා ඇති මෙකී ගාවුත කණු නිශ්ශංකමල්ල රජුගේ බලය තරමක් හෝ රෝහණ දේශයට ව්‍යාප්තව තිබූ බවට ද ප්‍රබල සාධකයකි. යුදනා දාගැබ ආසන්නයෙහිම නිශ්ශංකමල්ල රජු විසින් පිහිටු වන ලද ගාවුත කණුවක් තිබේ. ඒ අනුව යුදනා විහාරය පිහිටියේ දකුණේ සිට පොළොන්නරුව දක්වා විහිදුන පැරණි මාර්ගය ආසන්නයෙහිම බව ස්ථිරවම කිව හැකිය. තවද එම ගාවුත කණුව නිසා එකල දකුණේ සිට පොළොන්නරුව දක්වා වැටී තිබුණු මාර්ගය විහි දී ගියේ ද ඌව- වෙල්ලස්ස යුදනා විහාර ප්‍රදේශය හරහා බව තහවුරු වේ.

ඌවේ අතිශය වැදගත් ඓතිහාසික මූලාශ්‍රයන් වශයෙන් සැලකෙන යුදනා ටැම් ලිපිය හා කටුගහගල්ගෙයි ටැම් ලිපිය හා අමුනේකදුර පත්තිනි දේවාලයේ පිං කැටයක් වශයෙන් භාවිතා කරන ගල් කණුව ද, මෙම ගාවුත කණු අතර වැදගත් තැනක් ගනී. නිශ්ශංකමල්ල රජු විසින් ඒ ඒ ප්‍රදේශවල මහජන යහපත සඳහා සිදු කරන ලද විශාල සේවාවන් ප්‍රසිද්ධ ස්ථානයක සටහන් කර තැබීම මෙම ගාවුත කණු පිහිටු වීමේ පරමාර්ථය විය.

නිශ්ශංකමල්ල රජු රුහුණේ ගම්, නියම්ගම්, රාජධානි, වැව් අමුණු යනාදි ප්‍රසිද්ධ ස්ථාන බලමින් නිල ගමන් යමින් රුහුණු ජනතාව මුණ ගැසී තිබෙන බව රම්බා විහාර ලිපිය අනුව පැහැදිලි වෙයි. ඌවේ යුදනාව, වැලිගත්ත, කටුගහගල්ගේ යන ස්ථානයන්හි තිබී හමු වූ ඉහත කී සෙල්ලිපි වලින් (ගවු කණු) එතුමා රුහුණු ජනතාව කෙරෙහි අවවාදයක් ද සිදු කොට තිබේ. එම යුදනාව, වැලිගත්ත හා කටුගහගල්ගේ යන ගවු කණු ලිපි කිහිපය ඒකාබද්ධ කළ විට නිශ්ශංකමල්ල රජු රුහුණු ජනතාව කෙරෙහි අනුගමනය කළ ප්‍රතිපත්තිය ද පැහැදිලි වෙයි.

රුහුණු රජයෙහි ඇත්තවුන් කෙරෙහි කරුණාවෙන් කියම්හ : ධන ධාන්‍ය දාස දාසයින් සමග ජීවත් වන්නා කැමත්තම්හ : මායා රජයෙහි හා පිහිටි රජයෙහි ඇත්තවුන් අතින්, නින්දා පරිභව නො අසා ලෝභීව අනුන් ගැත්තට ආශා නොකොට, බත් කෑ, බුලත් කෑ, මතට උද්ධත නොව රුහුණො නිවංචාවොයැ, ස්වාමි පක්ෂ පාත ගැත්තොයි කියවව: මනුෂ්‍යාත්ම ලැබීම දුර්ලභ ය. දුකින් ලත් ආත්මය අනායෙහි නසන බව ධර්මතා නොවෙයි. මෙසේ අවවාද කියන්නේ පඬිරට දෙවරක් ගොස් පඬි රජ්ජුරුවන්ගෙන් අය ගෙන, ලක් දිවට අවුත් තුන් රජය පැදකුණු කොට සමනොළ ආදී වූ ගිරි දුර්ග බලා වදාළ කාලිංග චක්‍රවර්තීන් වහන්සේ තරම් කළ නිශ්ශංක ගවුවයි

මෙම ප්‍රකාශය තුළින් දැඩි ආත්ම විශ්වාසයක් ඇති රජෙකු දඟකාර යටත් වැසි පිරිසකට කරන සිහින් තරවටුවක් දැක ගත හැකි වන බව මහාචාර්ය මැන්දිස් රෝහණදීර මහතා අවධාරණය කොට තිබේ. මෙහිදී පිහිටි, මායා දෙරජයෙහි වැසියන්ගෙන් නිනිදා පරිභව නොඅසන ලෙස රුහුණු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. එම දෙරටේ වැසියන් තමා  පසු පස එක හඬින් සිටින බවත් එම දෙරජය කෙරෙහි දක්වන විරුද්ධත්වයට පරිභව ඇසීමට සිදු විය හැකි බවත් මෙම ගවු කණු ලිපි මගින් හැවීමට තැත් කළ බව සිතය හැකිය. මෙහි රුහුණු ජනතාවගේ උඩු කම් සලකා ඇත්තේ බත් කෑ, බුලත් කෑ, මතට එන උඩු කම් තරම් අල්ප කොටය. ලෝභිව අනුන් ගැත්තට ආශා නොකොට යන කියමන උඩු කමින් රජුට අයත් අය බදු නොගෙවන්නන්ට කළ අවවාදයකැ යි, සිතිය හැකිය. වංචාවකින් තොරව රජුට පක්ෂපාතිව සිටින ලෙසද මෙමගින් දන්වා තිබේ. එසේම මනුෂ්‍යාත්මභාවය ලැබීමේ දුර්ලභත්වයද මතක් කොට දී එය නිකරුණේ නො නසන ලෙස දන්වා ඇත. එලෙස අවවාද කොට ඇත්තේ අනවශ්‍ය දේශපාලන කරදර ආදියට කාලය නො යොදා පිං දහම් කටයුතු කෙරෙහි රුහුණු ජනතාව යොමු කරවීම සඳහා බව සිතිය හැකිය.

පොදුවේ ගත් කළ දැඩි පෞරෂත්වයක් හා ආත්ම විශ්වාසයක් ඇති ප්‍රබල රජෙකු ලෙසින් නිශ්ශංකමල්ල රජු රුහුණු ජනතාව ඉදිරියෙන් පෙනී සිටි වග පැහැදිලි වෙයි. මතු දැක් වූ යුදඟනාව, වැලිගත්ත හා කටුගහගල්ගේ යන ගවු කණු ලිපි කිහිපයෙන් ඇති අදහස් විමසා බැලීම තුලින් වඩා තහවුරු වෙයි.

යුදනා වැව

ඓතිහාසික යුදනා දාගැබ ඉදි කිරීමට අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ලබා ගෙන ඇත්තේ දාගැබ සමීපයේ ඇති යුදනා වැවෙන් බව කියවෙයි. මෙම යුදනා වැව පිහිටා ඇත්තේ බුත්තල නගරයේ සිට සැතපුම් එකහමාරක් පමණ දුරින්ය.

මෙම ජලාශය මහානාග රජු (ක්‍රි.පූ. 300) කාලයේ දී ඉදි කරවූ බව විශ්වාස කෙරේ. එය වර්ෂ 1950-1952 කාලයේ දී වාරිමාර්ග දෙපාර්තුමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කර ඇත. ඒ සඳහා රුපියල් 230,000ක මුදලක් වැය වී තිබේ. මෙම යුදනා වැව වර්ග සැතපුම් 1.7 ක පමණ ජල ධාරා ප්‍රදේශයකින් පෝෂණය වෙයි. අඩි 3,000ක දිග වේල්ලකින් ද සමන්විතය. යුදනා වැවෙහි ජල ධාරිතාවය අක්කර අඩි 1,000 ක් පමණ වේ. එය අක්කර 150ක ප්‍රදේශයක් පුරා පැතිරෙයි. වම් ඉවුරේ අඩි 100ක් පමණ දිග කොන්ක්‍රීට් වලින් නිම වූ වානක් මෑතක ඉදි කර ඇත.

මෙම යුදනා වැව සැතපුමක් පමණ දිග ප්‍රධාන ඇල මාර්ගයක් සහ ඊට අනුබද්ධ අතු ඇලවල් හා කෙත් ඇලවල් වලින් ද සමන්විතය. මෙමගින් අක්කර 252කට පමණ වී ගොවිතැන සදහා වාරි පහසුකම් සපයයි.

පුරාණ ආරාම සම්ප්‍රදායට අනුව යුදනා විහාරය වටා සකස් වූ දිය අගලක් ද පැවති බව දැනට සොයාගෙන තිබේ. මැණික් ගඟ ඔස්සේ පැමිණෙන ජලය උපයෝගී කර ගනිමින් එම ජලය යුදනා වැවට ගලාගෙන යන සේ මෙම දිය මාර්ගය සකස් කරවා ඇත. තවද පුරාතන යුගයේ දී වැව හා යුදනා වෙහෙර සම්බන්ධ වූ පැරණි ගමන් මාර්ගයක් ද පැවතුණි. යුදනා විහාර භාරකාර පූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරතන හිමියන් ගේ අධීක්ෂණය මත දැනට එම මාර්ගය තැනවීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. බුත්තල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඩබ්.එච්.එම්. ධර්මසේන මැතිතුමා ද මෙම පැරණි මාර්ගය නැවත් තැනවීම කෙරෙහි දැඩි උනන්දුවකින් ක්‍රියා කර ඇත. මේ අනුව ඓතිහාසික යුදනා විහාරය පෙර රජ දවස බෞද්ධ සංස්කෘතියේ හරවත් සංකේතයක් වූ වැවයි-දාගැබයි-කෙතයි මානව ප්‍රතිනිර්මාණය වන ස්ථානයක් ලෙස ද නම් කළ හැකිය.

...... පූජ්‍ය ඌරුගමුවේ අස්සජි ස්වාමීන් වහන්සේ විසින් රචිත ඓතිහාසික යුදනාව කෘතියෙන් උපුටාගන්නා ලදී.

පරිඝණක සැකසුම  මොනරාගල, බටුගම්මන, ඇල්හේනේ කේ.එම්. ඉමල්කා මධුභාෂිණී මෙනෙවිය විසිනි. ......

 
Bookmark and Share
Copyright © 2010 - 2017 Nawarathna Mihira Bandara Wijekoon. All Rights Reserved.